උණුසුම් පුවත්

දකුණු කොරියාවේ සේවය කළ ලාංකිකයන් දෙදෙනෙකුගේ සිරුරු ජල ටැංකියක

දකුණු කොරියාවේ දකුණු ග්යොන්ග්සැං පළාතේ ගෝසෝං හි පිහිටි ගොඩබිම පදනම් කරගත් මත්ස්‍ය ගොවිපළක ජල ටැංකියක් තුළ, ලාංකිකයන් දෙදෙනෙකු ඇතුළු සේවකයින් තිදෙනෙකු මියගොස් සිටියදී සොයා ගැනීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

එරට පොලීසිය උපුටා දක්වමින් එහි මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ ඊයේ රාත්‍රී 8:30 ට පමණ ගෝසෝං හි පිහිටි එම මත්ස්‍ය ගොවිපළේ විශාල ජලාශ ටැංකියක් තුළදී සිරුරු සොයාගත් බවයි.

ඊයේ (09) රාත්‍රියේ අභ්‍යන්තර මත්ස්‍ය ගොවිපොළක ජල ටැංකියක පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බවට ලද තොරතුරකට අනුවයි එරට පොලිස් මෙහෙයුම් ආරම්භ කර ඇත්තේ.

එහිදී අනාවරණය වී ඇත්තේ අදාළ අභ්‍යන්තර මත්ස්‍ය ගොවිපොළේ තිබුණු මීටර් 4ක් පළල, මීටර් 3 ක් දිග සහ මීටර් 2 ක් උසකින් යුක්ත වූ විශාල ජල ටැංකියක සිර ව 50 හැවිරිදි ස්ථාන අධීක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ කොරියානු ජාතිකයෙකු සහ අවුරුදු 20 සහ 30 යන වයස්වල ශ්‍රී ලාංකික සේවකයින් දෙදෙනෙකු මියගොස් ඇති බවටයි.

සේවකයින් සොයාගන්නා විට ටැංකිය ජලයෙන් පිරී තිබූ බව වාර්තා වනවා.

මෙම ටැංකිය, කුඩා මසුන් බෝ කරන ගොවිපළට ජලය සැපයීම සඳහා වූ ගබඩා ජලාශයක් ලෙසයි භාවිත කර ඇත්තේ.

එමෙන්ම බෝ කිරීමේ ටැංකි වෙත පොම්ප කිරීමට පෙර ජලය විදුලි උපකරණ භාවිතයෙන් රත් කිරීම හෝ සිසිල් කිරීම සිදු කෙරෙන බව ද වාර්තාවල සඳහන්.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ මෙලෙස මියගිය තිදෙනාගේ මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවයි.

එමෙන්ම සිදුවී ඇත්තේ කුමක්ද සම්බන්ධයෙන් එරට පොලිස් විමර්ශන ආරම්භ කර ඇති බව ද එම වාර්තා දක්වනවා.

Shares: