දේශීය

දකුණ මුහුදේ මත්ද්‍රව්‍ය හමුවූ සිද්ධියට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අත්අඩංගුවට

දකුණු මුහුදු තීරයේ දී ඊයේ (20) මත්ද්‍රව්‍ය සමග ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමේ සිද්ධියට අදාළව පන්නල ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයේ අපේක්ෂකයෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලීසිය සඳහන් කළේ එම ප්‍රාදේශීය සභාවේ සඳලංකාව කොට්ඨාසයට තරඟ වැදුනු වසන්ත ජයකොඩි නම් වන එම අපේක්ෂකයා මුදල් වියදම් කොට මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට ගෙන්වා ඇති බවයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අදාළ බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් 6දෙනා ඊයේ පස්වරුවේ තංගල්ල ධීවර වරාය වෙත රැගෙන එනු ලැබීමෙන් අනතුරුව පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශයට බාර දී තිබෙනවා.

ආරක්ෂක අංශ වෙත ලද තොරතුරකට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකිනුයි මෙම ධීවර යාත්‍රාව සොයාගනු ලැබුවේ.

අදාළ යාත්‍රාවේ තිබී අයිස් මත් ද්‍රව්‍ය කිලෝ එකක් පමණ වන පාර්සල් 200කට ආසන්න සංඛ්‍යාවක්, හෙරොයින් අඩංගු පාර්සල් 100කට ආසන්න ප්‍රමාණයක් මෙන්ම ගිනිඅවි 02ක් ද සොයා ගත බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස හමුව ඇත්තේ 9 එම් එම් වාර්ගයේ ගිනි අවියක් සහ රිවෝල්වරයක්.

Shares: