රිය අනතුරක් සම්බන්ධව ඇප මත මුදා හැර සිටින ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු කතානායක අසෝක සපුමල් රන්වල මහතාට එරෙහිව පවරා තිබෙන නඩුව ලබන 19 වන සිකුරාදා මහර මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවීමට නියමිතයි.
මේ අනතුර සම්බන්ධව සපුගස්කන්ද පොලිසිය මඟින් මහර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව අධිකරණ නියෝගය මත මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජානකි පෙරේරා කොළඹ ජාතික රෝහලට පැමිණ එහි නේවාසිකව ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක සපුමල් රන්වල පරීක්ෂා කිරීමෙන් අනතුරුව සැකකරු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැර තිබුණා.
හෙයියන්තුඩුව, දෙනිමුල්ල ප්‍රදේශයේදී ඉකුත් 11 වැනිදා රාත්‍රී 7.45 ට පමණ මේ රිය අනතුර සිදු වි තිබුණා.
මෙම රිය අනතුර පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු කතානායක අසෝක සපුමල් රන්වල පැදවු ජීප්රථයක් හා මෝටර් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුව තිබුණා.
මේ සම්බන්ධව සපුගස්කන්ද පොලිසිය මඟින් විමර්ශනයක් පවත්වා සිද්ධියට සම්බන්ධ ජීප්රථයක් , මෝටර් රථයක් හා යතුරු පැදියක් පොලිස් භාරයට ගනු ලැබුවා.
මෙහිදි තුවාල ලැබු මෝටර් රථයේ ගමන් කළ හෙයියන්තුඩුව , ඔබවත්ත ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ විසිපස් හැවිරිදි තරුණ මව , මාස හතක් වයසැති සිඟිති පුතා හා පනස් දෙහැවිරිදි මිත්තනිය කිරිබත්ගොඩ රජයේ රෝහලට ඇතුළත් කරනු ලැබුවා.
පසුව එම කාන්තාවන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාරවලට කොළඹ ජාතික රෝහලට හා සිඟිති පුතා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ද යවා තිබුණා.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක සපුමල් රන්වලද අසනීප වි කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වර්තා වන්නේ.
අනතුරුට පත් මව වන ඒ.ඩී.ලක්ෂිකා කොළඹ ජාතික රෝහලේ අංක 38 වන වාට්ටුවේ ද මිත්තනිය වන කේ ඒ ඩී පත්මා අංක 03 වන වාට්ටුවේ ද සිඟිති පුතා වන රියොන් සත්මින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අංක 05 වන වාට්ටුවේ ද නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි සඳහන් කරන්නේ.
මේ අනතුර සිදුවන අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බීමත්ව සිටි බවට සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැමුන් ප්‍රචාර සිදු කළ අතර ඔහු බීමත්ව සිට නොමැති බවට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වි තිබෙන බව වර්තා වෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක සපුමල් රන්වල විසින් පදවා ගෙන ගිය ජීප්රථය දෙනිමුල්ල ප්‍රදේශයේදී මුලින්ම යතුරු පැදියක ගැටී තිබෙන අතර පසුව ජීප්රථය දකුණු පැත්තට හැරවීමේදී ඉදිරියෙන් පැමිණි මෝටර් රථයේ ගැටි ඇතැයි සඳහන් වෙනවා.
මේ අනතුර සම්බන්ධව එම පවුලේ ලහිරු හර්ෂ ( 28 ) මෙසේ පැවසුවා.
“මේ අනතුරින් තුවාල ලබා තිබෙන්නේ මගේ බිරිඳ ලක්ෂිකා , සිඟිති පුතා හා මව පත්මා යන තිදෙනායි. අම්මාගේ වම් කකුල දෙකට කැඩිලා. බිරිඳගේ නළල පැලිලා . ඒ අය ඔපරේෂන් එකට ගන්නවා කියලා කීවා. බබාගේ ඔලුවේ ලොකු ගෙඩියක් ඇවිත් තිබුණා. .මේ වනවිට බබාගේ ස්කැන් දෙකක් අරන් තිබෙනවා. බබා නිතරම අඩනවා. ඒ අයට රෝහලින්ම බෙහෙත් ලබා දෙනවා. අපට ඒවා පිටතින් ලබා දෙන්නට සිදු වුනේ නැහැ.
තවම මේ තුන් දෙනාගේම ටිකට් කපන්නට බැහැ කියලා වෛද්‍යවරුන් පවසනවා. “
“රන්වල මන්ත්‍රීතුමාගේ බිරිඳ ළමා රෝහලේ ඩොක්ටර්. පුතා කොළඹ ජාතික රෝහලේ ඩොක්ටර් ඉතින් මේ ගැන කතා කරන්නට දෙයක් නැහැ. ඉතින් ඒ අය අපට කියනවා ඇක්සිඩන් කියන්නේ ඕම තමයි කියලා. මන්ත්‍රීතුමා කියනවා මා අතින් වරදක් වුණා. සමාව දෙන්නට කියනවා. ඒ කියන කොට මට තරහා යනවා.”
“අපි කගේවත් මුදල් බලාපොරොත්තු වන්නේ නැහැ. නමුත් තවම කිසිම කෙනෙක් පසුගිය ( 13 වැනිදා ) උදේ වනතෙක් මේ අය බලන්නට ඇවිත් නැහැ. කතා කළෙත් නැහැ. අම්මාට හෙට ( 15 වැනිදා ) කකුලට ප්ලේට් දමන
බවට ද වෛද්‍යවරුන් කීවා.” යනුවෙනි
මේ රිය අනතුර සම්බන්ධව බියගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති සුගත් දිසානායක මහතා මෙසේ පැවසුවා.
“මේ රිය අනතුර ගැන කතිකාවක් තිබෙනවා. විවිධ ආන්දෝලනාත්මක කතා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙනවා. ඒ නිසා මෙය ඇසින් දුටු අය විධියට මේ සම්බන්ධව පැහැදිලි කිරීමක් කළ යුතුයි කියලා විශ්වාස කරනවා.”
“මේ රිය අනතුර සිදුවු අවස්ථාවේම මට දුරකථන ඇමතුමක් ලැබුණා. ඒත් එක්කම මා එතැනට ගියා. ඒ වෙලාවේ අපගේ හිතවත් කීප දෙනෙකු ද එතැනට ඇවිත් සිටියා. මා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන ප්‍රියන්ත , ධර්මසේන හා ප්‍රජා ශක්ති සංවිධානයේ සභාපති කොස්වත්ත සමග එතැනට ගියා. එතැන මරුටි වර්ගයේ මෝටර් රථයක් තිබුණා. මා සිතුවා මේ එම අනතුර සිදුවු මෝටර් රථය කියලා. එතැන තුවාලකරුවන් සිටියේ නැහැ. තුවාලකරුවන් රෝහලට රැගෙන ගිය බවට දැන ගැනීමට ලැබුණා.”
“මේ අවස්ථාවේ එතැන රන්වල මන්ත්‍රීතුමා සිටියා. ඔහු යම් අපහසුතාවයකින් සිටින බවට අපට නිරීක්ෂණය වුණා. මන්ත්‍රීවරයාගේ බෙල්ලේ කැක්කුමක් තිබෙන බව කීවා ඒ නිසා මගේ මෝටර් රථයෙන් මන්ත්‍රීතුමා කිරිබත්ගොඩ රජයේ රෝහලට රැගෙන ගියා. එතැනට බියගම ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා තවත් කීප දෙනෙකු සමග වාහනයකින් ඇවිත් සිටියා.”
“එතැනදී තුවාලකරුවන් ගැන අපි විමසා බැලුවා. එහිදී කාන්තාවන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට හා කුඩා දරුවෙකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කළ බවට දැන ගැනීමට ලැබුණා. පසුව බියගම ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා එහි ගොස් තුවාලකරුවන්ට අවශ්‍ය පහසුකම් ගැන සොයා බලා අවශ්‍ය කටයුතු සිදු කළා.”
“රන්වල මන්ත්‍රීතුමාගේ බෙල්ලේ අසනීපයට සිදු කළ යුතු පරීක්ෂණ කිරීමට රෝහලේ පහසුකම් නැති බවට පැවසීමෙන් පසුව අපි මගේ මෝටර් රථයෙන් ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට රැගෙන ගියා. ඒ අවස්ථාවේ එතැන සිටි තුවාලකරුවන්ගේ පිරිසක් කළහකාරී ලෙස හැසුරුණා. එය අපි අනුමත කරන්නේ නැහැ. රන්වල මන්ත්‍රීතුමා බීමත්ව සිටිය බවට ඇතැමුන් චෝදනා කරනවා. එය වැරදියි. එතුමා මත්පැන් පානය කරන කෙනෙක් නෙමෙයි.”
මේ අනතුර සම්බන්ධව සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්. ජී.සුරවීර හා රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජේ. දිසානායක යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.











