උණුසුම් පුවත්

ක්ෂුද්‍ර මූල්‍ය ණය සම්බන්ධයෙන් ඇති ගැටලු නිරාකරණයට නව පනත් කෙටුම්පතක්

ක්ෂුද්‍ර මූල්‍ය ණය සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවට නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනාරච්චි මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින්.

ඔහු පෙන්වා දෙන්නේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් කාන්තාවන් 200 දෙනෙකු පමණ මේ වන විට සිය දිවි නසාගැනීමට පෙළඹී ඇති බවයි.

මේ අතර කොළඹ කොටස් වෙළෙඳපොළ නම සහ ලාංඡනය අනිසි ලෙස භාවිතා කරමින් රුපියල් මිලියන ගනණක මුදලක් තැන්පත්කරුවන්ට වංචා කර ඇති බව වාර්තා වනවා.

ව්‍යාජ ජංගම යෙදුමක් හරහා මෙම වංචාව සිදුකර ඇති බවයි කොළඹ කොටස් වෙළෙඳපොළේ ජ්‍යේෂ්ඨ උප සභාපති නිරෝෂන් විජේසුන්දර මහතා සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇති අතර වාර්තා වන්නේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට මෙම වංචාව සිදුවෙමින් පවතින බවයි.

මේ හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමේදී ඒ පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන ලෙස තැන්පත්කරුවන්ගෙන් ඔහු වැඩිදුරටත් ඉල්ලීම් කරනවා.

Shares: