දේශීය

මන්නාරම නගරය ආරක්ෂා කර දෙන්නැයි ඉල්ලා ප්‍රදේශ වාසීන්ගෙන් විරෝධතා

මන්නාරම නගරය ආරක්ෂා කර දෙන්නැයි ඉල්ලා ප්‍රදේශ වාසීන්ගෙන් විරෝධතා

 

මන්නාරම දිස්ත්‍රික්කය තුළ සිදුවන අනවසර ඛනිජ වැලි කැණීමේ ජාවාරම් නතර කරන ලෙසට හා මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය හේතුවෙන් දිස්ත්‍රික්කයේ පාරම්පරික ඉඩම් අහිමි වීමට විරුද්ධත්වය පළ කරමින් මන්නාරම නගරයේ ඊයේ (අගෝස්තු 05) සහ අද (අගෝස්තු 06) විරෝධතා පැවැත්විණි.

මන්නාරම තරුණ සංවිධානය හා දිස්ත්‍රික්කයේ සිවිල් සංවිධානවල එකමුතුවෙන් විරෝධතා වැඩසටහන් සංවිධානය කර තිබිණ.

විරෝධතා සඳහා එක්වූ පිරිස් පැවසුවේ, විවිධ බහු ජාතික සමාගම් මන්නාරම දූපත තුළ ඉල්මනයිට් ඇතුළු ඛනිජ සම්පත් කැණීමේ ජාවාරමක් ක්‍රියාත්මක කරමින් සිටින බව ය.

ඒ තුළින් මන්නාරම දිස්ත්‍රික්කයේ පාරම්පරික ජනතාවගේ ඉඩම් අහිමිවීමේ අවදානමක් මතුව ඇති බව ද විරෝධතාකරුවෝ පවසති.

මන්නාරම දිස්ත්‍රික්කයේ ස්වාභාවික සම්පතක් වන ඉහළ වටිනාකමින් යුතු ඉල්මනයිට් කැණීම වෙනුවෙන් ඔස්ට්‍රේලියානු බහු ජාතික සමාගමක් කටයුතු කරමින් සිටින අතර, ඒ වෙනුවෙන් බලපත්‍ර ලබාදීමේ සූදානමක් පවතින බැවින් ඊට විරෝධය පළ කරන බව විරෝධතාවට එක්වූ පිරිස් පවසති.

සුළං බලාගාර ව්‍යාපෘතියටත් විරෝධයක්

මන්නාරම සුළං බලාගාර ව්‍යාපෘතිය හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ ජන ජීවිතයට බාධා එල්ල වී ඇති අතර, සුළං බලාගාර ව්‍යාපෘතිය ආරම්භ වීමත් සමග වැසි සමයේ අපජලය ගලාගෙන යාමට පැවති ඇළ මාර්ග වසා දමා ඇති බැවින් වර්ෂා කාලයේදී ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් හටගන්නා බවත්, නිවාස ජලයෙන් යට වන බවත් විරෝධතාකරුවෝ චෝදනා කරති.

එමෙන් ම, මන්නාරම දූපත ආශ්‍රිතව සුළං බලාගාර ව්‍යාපෘතියේ මීළඟ අදියර ආරම්භ කිරීමට බහුජාතික සමාගම් පිඹුරුපත් සකස් කරමින් සිටින බැවින්, අදාළ සුළං බලාගාර ව්‍යාපෘතිය නවතා දැමිය යුතු බව ද විරෝධතාකරුවෝ අවධාරණය කරති.

‘ධීවර කර්මාන්තය කර ගන්න බැරි තත්ත්වයක් උදාවෙනවා’

මන්නාරම සිවිල් සංවිධාන එකමුතුවේ සභාපති අරුතන්දෙයි මාර්කස් පැවසුවේ, වර්තමානයේදී මන්නාරම දූපත ගැටලු රැසකට මුහුණ පා ඇති බව ය.

මන්නාරම දිස්ත්‍රික්කය තුළ ඉල්මනයිට් ඛණිජ වැලි කැණීමට හා මන්නාරම දූපතේ සුළං බලාගාර ව්‍යාපෘති ආරම්භ කිරීම තුළින් මන්නාරම දිස්ත්‍රික්කයේ ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව ද ඔහු පැවසුවේ ය.

“මන්නාරම වෙරළ සීමාව තුළ ඛණිජ වැලි කැණීම ආරම්භ කළහොත් ධීවර කර්මාන්තයෙන් ජීවත් වන දිස්ත්‍රික්කයේ ජනතාවට සිය ධීවර කර්මාන්තය කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවනවා. වෙරළ කැණීම හරහා මන්නාරම දූපත ආශ්‍රිත මත්ස්‍ය සම්පත විනාශ වී ගොස් ජනතාවට ධීවර කර්මාන්තය සිදුකිරීමට නොහැකි තත්ත්වයක් මේ නිසා ඇති වෙනවා,” ඔහු පැහැදිළි කළේ ය.

ඛණීජ වැලි කැණීම තුළින් ස්වාභාවික වෙරළ තීරය විනාශ වී ගොස් මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාවගේ ඉඩම් අහිමිවීමේ අවදානමක් මතු වන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ, මන්නාරම දූපත ආශ්‍රිතව ඉදිකිරීමට නියමිත නව සුළං බලාගාර ව්‍යාපෘතිය හේතුවෙන් ද මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාවට ගැටලු රැසකට මුහුණ දීමට සිදුවන බැවින් අදාළ ව්‍යාපෘති නවතා දැමිය යුතු බවට දිස්ත්‍රික්කයේ ජනතාව ඉල්ලා සිටින බව ය.

Shares: