ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහි කරුණු 15ක් මුල් කරගත් විශ්වාසභංග යෝජනාවක් ලබන සඳුදා (අගෝ. 11) කතානායකවරයාට භාර දීමට නියමිතව ඇත.
මෙම විශ්වාසභංග යෝජනාව සඳහා මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ලබාගනිමින් සිටින බව වාර්තා වේ.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ විමර්ශනවල විනිවිදභාවය හා සාධාරණත්වය තහවුරු කිරීමට මෙන් ම එම ප්‍රහාරය හේතුවෙන් රට තුළ ඇති වූ කම්පනයට යුක්තිය ඉටු කිරීමට මෙම විශ්වාසභංග යෝජනාව ඔස්සේ සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂය බලාපොරොත්තු වන බව කියයි.
‘පාස්කු ඉරිදා ප්‍රහාරයේ කුමන්ත්රණයේ මූලාරම්භයක් ලෙස සැලකෙන 2018 ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණ සමයේ එනම් 2018 නොවැම්බර් මාසයේදී 17 වන ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති [17th Commander of the Security Force (East)] ලෙස අරුණ ජයසේකර පත් කළ හෙයින් ද, ඒ අනුව ඔහු ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති ලෙස වැඩ භාරගැනීම’ යනුවෙන් එම විශ්වාසභංග යෝජනාවේ පළමු කාරණය ලෙස පෙන්වා දී ඇත.
එසේ ම, අරුණ ජයසේකර ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධූරය දරන රජයක මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය මගින් පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන සිදුකිරීම මත, බලපෑම් සහ ළබැඳියාවන් අතර ගැටීමක් ඇතිවන බව විපක්ෂය මෙම විශ්වාසභංගය මගින් අවධාරණය කර තිබේ.
පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන අපක්ෂපාතීව හා ස්වාධීනව සිදුවන්නේදැයි පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයන්ගේත්, කතෝලික සභාවේත්, පොදු මහජනතාවගේත්, විශ්වාසය බිඳවැටී ඇති හෙයින් අරුණ ජයසේකර ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ සිටියදී පාස්කු විමර්ශන සිදුකිරීමෙන් පාර්ලිමේන්තුවේ විශ්වාසය කඩව ඇති බැවින් ඔහු ඒම ධූරයෙන් ඉවත් කළ යුතු බව එම විශ්වාසභංග යෝජනාව ඔස්සේ පෙන්වා දෙයි.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංග යෝජනාව පහත දැක්වේ.












