උසස් පොලිස් නිලධාරීන්ගේ නිල රථයක් ලෙසට හැගෙන ආකාරයෙන් හැඩගන්වන ලද නවීන ජීප් රථයක් මහනුවර මූලස්ථාන පොලීසියේ රථ වාහන අංශය මගින් සිය භාරයට ගෙන තිබෙනවා.
මහනුවර මූලස්ථාන පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ (03) පස්වරුවේ දී මෙම ජීප් රථය පොලිස් භාරයට ගත් අවස්ථාවේ එහි පුද්ගලයන් දෙදෙනෙක් සිට ඇති අතර පොලීසිය භාවිතා කරන ආකාරයේ walkie talkie කථන යන්ත්‍ර දෙකක් ද එහි තිබූ බවයි පොලීසිය පැවසුවේ.
මෙම ජිප් රථයේ ඉදිරිපස වීදුරුව හැර අනෙකුත් වීදුරු සියල්ල සම්පූර්ණයෙන් අඳුරු කොට ඇති අතර නිරන්තර මහනුවර ප්‍රදේශයේ මාර්ගවල ධාවනය කර තිබෙනවා.
යම් අවස්ථාවලදී රථ වාහන හා මාර්ග රාජකාරිවල නිරත පොලිස් නිලධාරීන් මෙම වාහනයේ උසස් පොලිස් නිලධාරියෙකු ගමන් ගන්නේ යැයි සිතා වාහනයට ආචාර කර ඇති බව ද සඳහන්.
මෙම ජීප් රථය එකලස් කරන ලද්දක්ද නැතිනම් වර්ණ වෙනස් කළ එකක්ද කුමන ආකාරයේ කටයුතු සඳහා භාවිතා කළේද යන්න පිළිබඳව මහනුවර මූලස්ථාන පොලීසිය පරීක්ෂණ පවත්වන අතර මේ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාර්තාවක්ද කැඳවීමට නියමිත බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මෙම ජීප් රථයේ හිමිකරු සම්බන්ධයෙන් ද තොරතුරු හෙළි වී ඇති බව පවසනවා.
සිදුකළ විමර්ශනවලදී හෙළි වී ඇතතේ මෙම ජීප් රථය, මහනුවර ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ මහ සොහොන් බළකාය නැමැති දේශපාලන සංවිධානයක සාමාජිකයෙකු වූ අමිත් වීරසිංහ නැමැති අයෙකුට අයත් එකක් බවයි.
ඒ අනුව ඔහුට ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන ලෙසයි පොලීසිය දැනුම් දී ඇත්තේ.











