2024 LPL ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වනවිට ඇපමත මුදාහැර සිටින දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකරුට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා තීරණය කර ඇති බව ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පොලිස් ඒකකය අද (3) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
මෙලෙස අධි චෝදනා ගොනුකිරීමට නියමිතව ඇත්තේ බංග්ලාදේශ සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තමිම් රහ්මාන් නම් නැමැත්තාටයි.
මෙම නඩුකරය කොළඹ මහාධිකරණ විනිසුරු අසංක එස් බෝදරගම මහතා ඉදිරියේදීයි අද කැඳවනු ලැබුවේ.
ඒ සඳහා තමිම් රහ්මාන් නැමැත්තාද අධිකරණය හමුවේ පෙනී සිටියා.
එහිදී ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පොලිස් ඒකකයේ නිලධාරීන් අධිකරණයට දැන්වූයේ සැකකරුට එරෙහිව ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා තීරණය කර ඇති බවයි.
ඒ අනුව මෙම නඩුව කැඳවීම සඳහා කෙටි දිනයක් ලබාදෙන ලෙස එම නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරයා අදාළ පැමිණිල්ල එළැඹෙන දෙසැම්බර් 5 වනදා කැඳවීමටයි නියම කළේ.










