ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක එච්.ටී.එම් තුෂාර මහතාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීමක් ලබාදී තිබෙනවා.
ඒ අනුව, ඔහු එම තනතුරේ සිට වෛද්‍ය සේවා කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරුකර ඇති බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සේනාරත්න මහතා කියා සිටියේ.
ගල්කිස්ස අධිකරණය පරිශ්‍රය තුළදී නීතිඥවරයකු විසින් පොලිස් නිලධාරියෙකුට බැන තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට මෙලෙස ස්ථාන මාරුවීමක් ලබාදී ඇති බව සඳහන්.
මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පොලිස් කොස්තාපල්වරයා මේ වනවිට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.










