උණුසුම් පුවත්

සීතාවක ප්‍රාදේශිය සභාවේ බලය NPPයට

සීතාවක ප්‍රාදේශිය සභාවේ බලය ජාතික ජන බලවේගයට දිනා ගැනීමට හැකිව තිබෙනවා.

එහිදී පළාත් පාලන මැතිවරණය අවසන් වී මාස 06කට පසුවයි මෙම ඡන්ද විමසීම පැවැත්වූයේ.

ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී සීතාවක ප්‍රාදේශිය සභාවේ බලය පිහිටුවීම සඳහා කිසිඳු පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට සමස්ත ආසන සංඛ්‍යාවෙන් 50%කට වැඩි සංඛ්‍යාවක් දිනාගැනීමට හැකි වූයේ නැහැ.

එහිදි වත්මන් ආණ්ඩු බලය හිමි ජාතික ජනබලවේගය ආසන 23ක් දිනාගැනීමට සමත් වූ අතර විපක්ෂයේ සෙසු පක්ෂ සියල්ල අතර ආසන 24ක් බෙදීගොස් තිබුණා.

ඒ අනුව සීතාවක ප්‍රාදේශිය සභාව සඳහා සභාපති හා උප සභාපති තෝරා පත්කර ගැනීම සඳහා ඉකුත් ජුනි මස 17 වනදා පළමු රැස්වීම කැඳවූ නමුත් තෝරා පත්කර ගැනීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් ඇති වූ අර්බුදකාරී තත්ත්වය හමුවේ සභාවේ රැස්වීම කල් තැබීමටයි තීරණය කෙරුණේ.

අනතුරුව පසුගිය ජුලි 15 වනදා සභාපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා යළි සභාව කැඳවූවද, එහිදී ද තෝරාපත් ගැනීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් මතුවූ ගැටලු හමුවේ යළිත් සභාව කල් තැබුණා.

ඒ අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වී මාස 06ක් ගතවී ඇතත් තවමත් බලය පිහිටුවා නොමැති සීතාවක ප්‍රාදේශිය සභාව අද පෙරවරුවේයි යළි රැස්වූයේ.

එහිදී සභාපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්දය විවෘත ඡන්දයක් ලෙසද, රහස්‍ය ඡන්දයක් ලෙසද පවත්වන්නේ යන්න පළමුව විමසා බැලුනු අතර ජාතික ජන බලවේගයේ සභිකයන් 23 දෙනා සහ පොදු විපක්ෂය නියෝජනය කළ සර්වජන බලය සභිකයෙකු කැමැත්ත පළ කළේ රහස්‍ය ඡන්දයක් පැවැත්වීමටයි.

එහිදි විපක්ෂ නියෝජනය කරන සෙසු සභිකයන් 23 දෙනා සභා ගර්භයෙන් ඉවත්ව ගියා.

පසුව සභාපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා ඡන්ද විමසීම පැවැත්වූ අතර එහිදි එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ සභික පී.කේ. ප්‍රේමරත්න මහතායි තේරී පත්වුණේ.

එහිදි ඔහු ඡන්ද 23ක් ලබාගැනීමට සමත් වූ අතර රහස්‍ය ඡන්දයක් පැවැත්වීමට කැමැත්ත පළකළ සර්වජන බලය සභිකයා සභාපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්දයට සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.

Shares: