දේශීය

තායි ඇතුන් දෙදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් – පරිසර අමාත්‍යාංශය

තායිලන්තය විසින් ශ්‍රී ලංකාවට තෑගි ලෙස ලබා දුන් ඇතුන් දෙදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව පරිසර අමාත්‍යාංශය අද (19) දින නිල වශයෙන් තහවුරු කළා.

මෙම ඇතුන්ට හිංසනයක් සිදුවී ඇති බවට තායිලන්ත රජය කළ චෝදනා මතයි ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සොයා බැලීම සඳහා විශේෂඥ පශු වෛද්‍ය නිලධාරීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබුවේ.

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පැවසුවේ ඊයේ දින තමාට ලැබුණු එම පරීක්ෂණ වාර්තාව අනුව ඇතුන් දෙදෙනාගේ සෞඛ්‍යය යහපත් බව තහවුරු වී ඇති බවයි.

දැනට ශ්‍රී දළදා මාලිගාවේ තායි රාජා (විජය රාජා) සහ කැලණිය රජ මහා විහාරයේ කණ්ඩුල ලෙස රඳවා සිටින මෙම ඇතුන් නැවත තායිලන්තයට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ඉදිරි රාජ්‍ය තාන්ත්‍රික තීරණයක් ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

මෙම වාර්තාව තායිලන්ත රජයට භාරදීමට නියමිත අතර, එරට ස්වභාවික සම්පත් හා පරිසර අමාත්‍යවරයා ඉදිරි සති දෙක ඇතුළත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා දැනුම් දීමක් තර තිබුණා.

Shares: