සුළි කුණාටු තත්ත්වය දිවයිනෙන් බැහැරට ගමන් කිරීමත් සමග සෘජු බලපෑම් ඉවත් වුවද, වක්‍ර බලපෑම් තවදුරටත් පවතින බවත්, ඒ හේතුවෙන් උතුර, උතුරු මැද, ඊසාන දිග සහ මධ්‍යම පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවන වර්ෂාපතනයක් ලැබීමේ හැකියාව පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කරනවා.
මීට අමතරව බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මි.මි 50 ඉක්මවන වර්ෂාපතනයක් ලැබෙන අතර අනෙක් පළාත්වලද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් අධ්යක්ෂ ජනරාල්වරයා සහන කඳවුරුවල සිටින ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අධික වර්ෂාපතනය අඩු වුවද ආපදා තත්ත්වය තවමත් පහව ගොස් නොමැති බැවින් සිය නිවෙස් කරා යාමෙන් වළකින ලෙසයි.
එමෙන්ම සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් සිදු වූ විදුලි රැහැන් පද්ධති කඩා වැටීම් තවමත් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කර නොමැති අතර අදාළ ආයතන විසින් ඒ පිළිබඳ නිසි දැනුම් දීමක් සිදු කරන තුරු ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසද ඒ මහතා දැනුම් දෙනවා.
එමෙන්ම ගංවතුර බලපෑ ප්‍රදේශවල ළිං සුද්ධ පවිත්‍ර කිරීමෙන් තොරව, එම ජලය පානයෙන් වළකින ලෙසත්, එමගින් සෞඛ්‍ය ගැටලු රැසක් මහගරවා ගත හැකි බවයි කරුණානායක මහතා ප්‍රකාශ කළේ.
කෙසේ නමුත් මෙහි වක්‍ර බලපෑම තවදුරටත් ලංකාවට පවතින බැවින් දිවයින තුළ සහ අවට මුහුදු තීරයේ සුළගේ වේගය පැයට කි.මි 60-70 දක්වා ඉහළ යාමේ තත්ත්වයක් පවතින බවත්, තද සුළං සමග මුහුද රළුවීමේ හැකියාව පවතින බැවින් අද දිනයේද ධීවර සහ නාවික කටයුතුවලින් වළකින ලෙසත් ඔහු සඳහන් කරනවා.
අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පවසන්නේ මෙම වක්‍ර බලපෑමද නොවැම්බර් 30 වනදා වන විට දිවයිනෙන් බැහැර වනු ඇති බවත්, ඉන් පසුව සාමාන්‍ය කාලගුණික රටාවක් ඇති වනු ඇති බවත්, එවිට සාමාන්‍යයෙන් සවස් යාමයේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි නිර්මාණය වන තත්ත්වයක් පැවතිය හැකි බවයි.











