දේශීය

මනුෂ්‍ය ඝාතනයක් සැලසුම් කළ 05ක් අල්ලයි

මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට සැලසුම් කළ සැකකරුවන් 05 දෙනෙකු බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ දෙහිවල – වනරතන පාර ප්‍රදේශයේ ක්‍රීඩාපිටියක් අසලදී පසුගිය 06 වනදා ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තවත් පුද්ගලයෙකුට බරපතල තුවාල සිදුකිරීමේ අපරාධයට පළිගැනීමක් වශයෙන් දෙහිවල ප්‍රදේශයේදීම මෙම ඝාතන සැලැස්ම සිදුකර ඇති බවයි.

ඒ අනුව, පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා පෙර සැලසුම් සකස් කිරීම, කුමන්ත්‍රණය කරීම, එම වරදට ආධාර අනුබල දීම, නීති විරෝධි අයුතු ජනරාශියක සමාජිකයින් වශයෙන් ක්‍රියා කිරීම සම්බන්ධයෙනුයි එම සැකකරුවන් 05දෙනා ඊයේ (11) පෙරවරුවේ රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් අවුරුදු 22 හා 36 යන වයස්වල පසුවන පංකුලම, රත්මලාන, බොරලැස්ගමුව, හා මොරටුව ප්‍රදේශවල පදිංචිකරුවන්.

අත්අඩංගුවට ගත් පංකුලම ප්‍රදේශයේ පදිංචි සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 15 ක් සොයා ගෙන තිබෙනවා.

එම සැකකරු 2025.01.19 වන දින ගල්කිස්ස පොලිස් වසමේ බඩෝවිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය සිදුකිරීමේ අපරාධයේ වෙඩික්කරු වශයෙන් ක්‍රියාකර ඇති අතර එම අපරාධයට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින අයෙකු බවයි වාර්තා වන්නේ.

තවද සැකකරුවන්ගෙන් හෙළි වූ තොරතුරු මත අපරාධය සිදුකිරීම සඳහා භාවිතා කිරීමට සුදානම් කර තිබූ යතුරුපැදියක්ද සොයා ගෙන ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ එම යතුරුපැදියේ සවිකර තිබූ අංක තහඩුවක ලියාපදිංචි අංකය හෝමාගම පොලිස් වසමේදී සොරකම් කළ යතුරුපැදියක අංකය බවටයි.

සැකකරුවන් අද ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Shares: