වෙනිසියුලාවේ සිටින එක්සත් ජනපද පුරවැසියන්ට වහාම එරටින් පිටත් වන ලෙස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබෙනවා.
ඒ වෙනිසියුලාව තුළ සන්නද්ධ කල්ලි මාර්ග බාධක යොදමින් අමෙරිකානු පුරවැසියන් ඉලක්ක කර ගනිමින් වාහන පරීක්ෂා කරන බවට වාර්තා වීමත් සමග බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
ඒ අනුව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ අමෙරිකානුවන්ට ජාත්‍යන්තර ගුවන් ගමන් නැවත ආරම්භ වී ඇති බැවින් වෙනිසියුලාවෙන් වහාම පිටත් විය යුතු බවයි.
වෙනිසියුලාවේ ආරක්ෂක තත්ත්වය තවමත් අවිනිශ්චිත තත්ත්වයක පවතින බවත් ඒ අනුව වෙනිසියුලාවේ සිටින එක්සත් ජනපද පුරවැසියන් වහාම වෙනිසියුලාවෙන් පිටත්ව යන ලෙසයි මේ සම්බන්ධව වෙනිසියුලාවේ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.
පිටත්ව යාමට පෙර එක්සත් ජනපද පුරවැසියන් පූර්වාරක්ෂාවන් ගත යුතු බවත්, ඔවුන්ගේ වටපිටාව පිළිබඳව දැනුවත් විය යුතු බවත් දන්වා ඇති තානාපති කාර්යාලය සඳහන් කර ඇත්තේ වෙනිසියුලාවේ සිටින කොලෙක්ටිවෝස් ලෙස හැඳින්වෙන සන්නද්ධ මිලිෂියා කණ්ඩායම් මාර්ග බාධක පිහිටුවා එක්සත් ජනපද පුරවැසිභාවය හෝ එක්සත් ජනපදයට සහාය දැක්වීමේ සාක්ෂි සොයමින් සිටින බව මේ වන විට වාර්තා වී ඇති බවයි.
ඒ හේතුවෙන් එක්සත් ජනපද පුරවැසියන් මෙම තත්ත්වය සම්බන්ධව සුපරික්ෂාකාරීව සිටින ලෙසත් මාර්ගයන් හී ගමන් ගන්නා විට ප්‍රවේශම් වන ලෙසත් තානාපති කාර්යාලය වැඩිදුරටත් දැනුම් දෙනවා.
එමෙන්ම සංචාරය සඳහා වෙනිසියුලාවට යාමට බලාපොරොත්තුවෙන් සිටින එක්සත් ජනපද පුරවැසියන්ට එරට සංචාරය කිරීමෙන් වළකින ලෙසත් දන්වා ඇති අතර වෙනිසියුලාවේ සිටින එක්සත් ජනපද පුරවැසියන් සිය පවුලේ සාමාජිකයින් සහ මිතුරන් සමග සන්නිවේදනය සඳහා වූ බහුවිධ ක්‍රම ස්ථාපිත කරගත යුතු බවයි එරට පිහිටි තානාපති කාර්යාලය දන්වා ඇත්තේ.











