එංගලන්තයේදී මියගිය ශ්‍රී ලාංකික කාන්තාවක් වන 32 හැවිරිදි නිරෝධා නිවුන්හැල්ලගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් එරට අත්අඩංගුවේ සිටි සැකකරුවෙක් වු තිසර වේරගලගේ නම් ශ්‍රී ලාංකිකයෙකු වරද පිළිගෙන තිබෙනවා.
තියුණු ආයුධයකින් පහරදීමෙනුයි එම ඝාතනය සිදු කර තිබුණේ.
පසුගිය වසරේ අගෝස්තු 21 වනදා එංගලන්තයේ වේල්සයේ කාඩිෆ් නගරයේ රිවර්සයිඩ් ප්‍රදේශයේ නවතා තිබූ රථවාහන දෙකක් මධ්‍යයේ තිබී බරපතළ කැපුම් තුවාල සහිතව නිරෝධාගේ සිරුර සොයාගෙන තිබුණා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අවස්ථාවේදී ඇයගේ සිරුර හමු වූ ස්ථානයට ආසන්න ප්‍රදේශයක සිටි තිසර වේරගලගේ එරට පොලීසි විසින් අත්අඩංගුවට ගත් බවයි.
ඔහු කලකට පෙර නිරෝධාට හිතවත්ව සිටි ඇය හඳුනන පුද්ගලයෙකු නමුත් ඒ වන විට වේල්ස් අගනුවරම වෙනත් තැනක ඔහු පදිංචිව සිට ඇති බවයි එහිදී පොලීසිය සඳහන් කළේ.
ඝාතනය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවක තියුණු උල් ආයුධයක් තමන් සතුව තිබූ බව පිළිගත්තද නිරෝධාගේ ඝාතනයේ වරද ඔහු ප්‍රතික්ෂේප කර තිබුණා.
එහිදී සැකකරුව නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර නැවතත් සැකකරුව Newport Crown අධිකරණයට ඉදිරිපත් කළේ පසුගිය 12 වනදායි.
එහිදී සැකකරු නිරෝධාගේ ඝාතනයේ වරද පිළිගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා දක්වන්නේ.
නිරෝධාගේ පශ්චාත් මරණ පරීක්ෂණයේද සඳහන් කර ඇත්තේ මරණයට මූලික හේතුව තියුණු ආයුධයකින් සිදු වූ තුවාල නිසා ඇය මියගොස් ඇති බවයි.
ඒ අනුව ඔහුට හිමි දඬුවම එළැඹෙන පෙබරවාරි මස 20 වනදාට තීන්දු කිරීමට නියමිතව බවට අධිකරණය නියම කර තිබෙනවා.











