ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත සම්මත කළ ආණ්ඩුව, දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ යෝජනාවද ඉදිරිපත් කර තිබෙනවා.
ඊට අදාළ පනත් කෙටුම්පත අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් ජනවාරි 7 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.
ඉවත් කිරීමට යෝජිත පනත
මෙම යෝජනාව අනුව, 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත අවලංගු කිරීමට යෝජනා කර තිබෙනවා.
තවද, 1982 අංක 1 සහ 1990 අංක 47 දරන සංශෝධන පනත් අනුව විශ්‍රාම වැටුප ලබන අය සඳහා, නව පනත ක්‍රියාත්මක වන දිනයෙන් පසු එම ගෙවීම් නතර කළ යුතු බවද කෙටුම්පතේ සඳහන් කරනවා.
මන්ත්‍රී විශ්‍රාම වැටුප ලැබෙන්නේ කොහොමද?
මෙම විෂය පිළිබඳ අදහස් දක්වමින් නීතිඥ, මහාචාර්ය ප්‍රතිබා මහානාමහේවා සඳහන් කළේ,
පාර්ලිමේන්තුවේ අවුරුදු 5ක් අඛණ්ඩව සේවය කළ මන්ත්‍රීවරයෙකුට, ලැබූ දීමනාවෙන් තුනෙන් එකක් ජීවිත කාලය පුරා විශ්‍රාම වැටුපක් ලෙස ලැබී තිබුනා.
අවුරුදු 15ක් සේවය කළහොත්, එම දීමනාවෙන් තුනෙන් දෙකක් ලැබී තිබූනා.
මන්ත්‍රීවරයා මියගිය පසු, එම වැටුප වැන්දඹු භාර්යාවට හෝ වයස අඩු දරුවන්ට හිමි වී තිබුනා.
එමෙන්ම, පාර්ලිමේන්තුව අවුරුදු 5ක් සම්පූර්ණ කිරීමට පෙර විසුරුවා හරින ලදහොත් විශ්‍රාම වැටුප සඳහා හිමිකාරිත්වය නොලැබෙන බවද ඔහු තවදුරටත් පැහැදිලි කළා.
රාජ්‍යයට වැය බරක්ද?
දැනට මන්ත්‍රීවරුන් 334කට වඩා සහ 189කට වැඩි වැන්දඹු භාර්යාවන් හා දරුවන්ට මෙම විශ්‍රාම වැටුප් ගෙවනු ලබන බව වාර්තා වනවා.
රාජ්‍ය සේවකයෙකු විශ්‍රාම වැටුපක් සඳහා අවුරුදු 40-50ක් සේවය කළ යුතු අතර, පාර්ලිමේන්තුවේ අවුරුදු 5ක සේවයකින් පසුම විශ්‍රාම වැටුප හිමිවීම පිළිබඳ සමාජයේ විවිධ මත පවතිනවා.
මෙම පනත් කෙටුම්පත සම්මත වුවහොත්, මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් පද්ධතියේ විශාල වෙනසක් සිදුවනු ඇත.
එය රාජ්‍ය වියදම් අඩු කිරීමේ පියවරක්ද? නැතිනම් දේශපාලන ක්ෂේත්රයේ තවත් විවාදයක්ද?
ඉදිරි දිනවල පාර්ලිමේන්තු විවාදයන් තුළින් එයට පැහැදිලිත්වයක් ලැබීමට අපේක්ෂා කෙරේ.











