උණුසුම් පුවත්දේශීය

මැදපෙරදිග උණුසුම අතර ප්‍රංශය නාවික බලය සක්‍රීය කරයි – යුද නෞකා කිහිපයක් කලාපයට

මැදපෙරදිග කලාපයේ උත්සන්න වෙමින් පවතින යුද තත්ත්වය මධ්‍යයේ ප්‍රංශය නාවික යුද නෞකා දහයකට ආසන්න ප්‍රමාණයක් මධ්‍යධර සාගරය, රතු මුහුද සහ අවශ්‍ය වුවහොත් හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වෙත යොදවීමට තීරණය කර ඇති බව ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන් ප්‍රකාශ කර තිබෙනවා.

සයිප්‍රසයේ පැවැති හමුවකදී අදහස් දක්වමින් මැක්‍රොන් කියා සිටියේ, කලාපයේ ආරක්ෂාවට තර්ජන ඇතිවූ මිතුරු රටවලට ආරක්ෂක සහය ලබා දීම මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණ බවයි. පසුගිය සතියේ සයිප්‍රසය වෙත පැමිණි ඩ්‍රෝන කිහිපයක් අල්ලා විනාශ කළ බවත් එම සිද්ධිය පසුබිම කරගෙන මෙම තීරණය ගෙන ඇති බවත් සඳහන් වනවා.

මැක්‍රොන් අවධාරණය කළේ “සයිප්‍රසය ප්‍රහාරයට ලක්වන්නේ නම් එය යුරෝපය ප්‍රහාරයට ලක්වීමක් ලෙස සැලකිය යුතුයි” යන්නයි.

මෙම මෙහෙයුම යටතේ ප්‍රංශයේ ප්‍රධාන ගුවන් යානා වාහක නෞකාව වන “Charles de Gaulle” ඇතුළු යුද නෞකා 8ක් සහ හෙලිකොප්ටර් නෞකා 2ක් කලාපයට යොදවීමට සැලසුම් කර තිබෙනවා.

මෙම නාවික මෙහෙයුමේ අරමුණ වන්නේ මැදපෙරදිග ගැටුම් හේතුවෙන් අවහිර වී ඇති අන්තර්ජාතික නාවික ගමනාගමනය ආරක්ෂා කිරීම සහ වාණිජ නෞකා හා තෙල් ටැංකර් නැවතත් හෝර්මුස් දූවල හරහා නිදහසේ ගමන් කිරීම සහතික කිරීම බවද ප්‍රංශ ජනාධිපතිවරයා තවදුරටත් පැවසා තිබෙනවා.

විශේෂයෙන්ම තෙල් මිල ඉහළ යාම සහ නාවික මාර්ග අවහිර වීම හේතුවෙන් ලෝක ආර්ථිකයට බලපෑම් ඇතිවිය හැකි බැවින් යුරෝපීය රටවල් මෙම කලාපයේ ආරක්ෂාව වැඩි කිරීමට වැඩි අවධානයක් යොමු කර ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

Shares: