උණුසුම් පුවත්

ලසන්ත ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු අල්ලන්න පොලිසිය මහජන සහාය ඉල්ලයි..

 

වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතනවා.

මෙම සැකකරු අඩි 5 අගල් 6ක් පමණ උසැති අතර, දකුණු අතේ ඉහළ බාහුවේ ඉංග්‍රීසියෙන් ANURADA ලෙස ද වම් අතේ “හිතුමතේ ජීවිතේ” ලෙස පච්ච සලකුණු තිබෙන බවයි එම නිවේදනයේ සඳහන්.

සැකකරුවන් සමඟ පොලිස් නිලධාරින් පොර බඳින අවස්ථාවේ පලාගිය සැකකරුවෙකු වන මොහු කොන්තපෙන, බැඳිපිට, අඟුළුගම ප්‍රදේශයේ පදිංචි හක්මන පරන ලියනගේ නුවන් තාරක යන අය අත්අඩංගුවට ගැනීම සඳහායි පොලිසිය මෙලෙස මහජන සහය පතනන්නේ.

මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටින අතර සැකකරුගේ ඡායාරූප ඉහත දැක්වෙනවා.

පොලිස්පතිට (WhatsApp) 071 859 8888
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, 011 233 7162/071 859 2087

2025.10.22 වන දින වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා නාඳුනන තුවක්කුකරුවෙකු විසින් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යවරයාගේ සහ අමාත්‍යංශ ලේකම්වරයාගේ මග පෙන්වීම මත පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

 

මෙම විමර්ශන කටයුතු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් කිහිපයක් ඒකාබද්ධව කඩිනමින් විමර්ශන ආරම්භ කර තිබුණා.

ඒ අනුව, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ සැලසුම් සහගත මෙහෙයුමකින් පසු අනුරාධපුර කොට්ඨාසයේ කැකිරාව පොලිස් වසමේ නිවාස 50 ප්‍රදේශයේ, මෙම අපරාධයට අදාල සැකකරුවන් සැඟවී සිටින බවට තොරතුරක් ලැබී තිබුණා.

ලැබී තිබුණ තොරතුරු අනුව, එම කොට්ඨාසයේ නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්, යුද හමුදා නිලධාරීන්ගේද සහාය සහිතව 2025.10.26 වන අද දින අළුයම් කාලයේදී කමතක් සඳහා භාවිතා කරන ලද, අත්හැර දමන ලද නිවසක් සහිත ඉඩමක් වටලා පරීක්ෂා කර තිබෙන අතර එහිදී සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී, සැකකරුවන් සමඟ සිටි තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු පොලිසිය සමඟ පොර බැදීමක් සිදුකර ඇති අතර එහිදී පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ප්‍රතිකාර ලබා ගැනීමට යොමු කර තිබෙනවා.

සැකකරුවන් විසින් අපරාධයට භාවිත කරන ලද යතුරු පැදිවලින් එක් යතුරු පැදියක්, රුපියල් ලක්ෂ දොලහකට අධික මුදල් ප්‍රමාණයක්, හෙරොයින්, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතයට යොදා ගන්නා උපකරණ සමඟ අත්අඩංගුවට ගෙන තිබුණා.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව, දකුණු පළාත් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්‌යංශ, මාතර හා අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශ, පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුධ හමුදා නිලධාරීන් ඒකාබද්ධව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරමින් පවතිනවා.

Shares: