මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
හෙටින් ආරම්භ වන විභාගය දෙසැම්බර් මස 05වන සිකුරාදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2362ක දී පැවැත්විමට නියමිතයි.
මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් තුන්ලක්ෂ 40,525 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර ඒ අතරට පාසල් අයදුම්කරුවන් 246,521 දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 94,004 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා.
විභාගය සඳහා දිවයින පුරා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 325ක් පිහිටුවා ඇති අතර ප්‍රාදේශීය එකතුකිරීමේ මධ්‍යස්ථාන 32 පිහිටුවා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
මේ අතර උසස් පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇති විය හැකි බාධා වළක්වා ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ද ක්‍රියාත්මක කර තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි ආපදාවලින් මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටින සිසු දරුවන් හට මුහුණුදීමට සිදු විය හැකි බාධා වළක්වා ගැනීම මෙම වැඩපිළිවෙලෙහි අරමුණ බවයි.
ඒ අනුව, විභාග කාල සීමාව තුළ ආපදා අවදානමින් තොර පරිසරයක් නිර්මාණය කර දීම සඳහා ඒ ඒ පාර්ශ්‍වකාර ආයතන කටයුතු කළ යුතු ආකාරය ඇතුළත් මාර්ගෝපදේශයක් නිකුත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර තිබෙනවා.
එහිදී යම් ආපදා තත්ත්වයක් හේතුවෙන් විභාගයට පෙනීසිටීමට යම් බලපෑමක් එල්ල විය හැකි සිසු දරුවන් හට 117 දුරකතන අංකයට හෝ විභාග දෙපාර්තමේන්තුව විසින් හදුන්වාදී ඇති 1911 දුරකථන අංකයට දැනුම් දිය හැකියි.
එමෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙහි හදිසි මෙහෙයුම් මැදිරිය තුළ ස්ථාපිත කර ඇති ජාතික විභාග හදිසි මෙහෙයුම් ඒකකයේ විශේෂ ඇමතුම් අංක 113 668 026, 113 668 032, 113 668 087 සහ 113 668 119 යන දුරකථනවලට දැනුම්දීමෙන් අවශ්‍ය සම්බන්ධීකරණ සහාය ලබාගත හැකි බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටියේ.
මේ අතර විභාගයට මුහුණ දිය යුතු ආකාරය සම්බන්ධයෙන් අදහස් පළ කළ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා පැවසුවේ,
“වසර දෙකකට අධික කාලයක් මේ විභාගයට සූදානම් වෙලා මේ විභාගයට මුහුණ දෙනෙකොට සමහරවෙලාවට චකිතයක්, බයක් දැනෙන් පුළුවවන්. විභාගයට මුහුණදෙන දරුවන්ට මට දෙන්න පුළුවන් පණිවුඩය තමයි විභායට බය නැතුව මුහුණු දුන්නොත් තමයි හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. දැන් මෙකෙත් කල් කරපු පාඩම් නැවත මෙනෙහිකරගෙන හෙට දිනයේ පැවැත්වෙන විභාගයට බය නැතුව මුහුණදෙන්න යන්න. ඒ වගේම තමයි අද රෑට හොඳ නින්දක් අවශ්‍යයි. මොකද එළිවෙනතුරු නිදිමරන්න ගියොත් පාඩම් කරපු දේවල් අමතක වෙන්නට පුළුවන්. ඒ වගේම බය නිසා පොඩි චකිතයක් වගේ දැනිලා අමතක වෙනවා වගේ දැනුනට හොඳින් මතක තබාගන්න ඊයේ පාඩම් කරපු දේවල් අමතක වෙන්නේ නේ නෑ. හෙට උදේට බය නැතුව විභාගයට ගියාට පස්සේ ඒ ප්‍රශ්න පත්‍රය අතට ගත්තට පස්සේ මෙතෙක් පාඩම්කරපු දේවල් නැවත මතක් වෙනවා. ඉතාම වැදගත් මේ පණිවුඩය හිතේ තියාගෙන ඉන්න එක. හොඳ ප්‍රතිඵල ගන්න විභාගයේදී ඒ ප්‍රශ්න පත්‍රය කියවලා සැහැල්ලුවෙන් පිළිතුර ලිවීම ඉතා වැදගත්.”
යනුවෙන්.
උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ගේ මව්පියන් ද කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පැහැදිලිකළ විශේෂඥ වෛද්‍යවරයා,
“දෙමාපියනුත් දරුවන්ට සැහැල්ලුවෙන් තමන්ගේ පාඩම් බලාගෙන සූදානම් වීමට ඉඩ සැලසීම වැදගත්. වුවමනාවට වඩා උසස් ප්‍රතිඵල ලබාගන්න කියලා බල කරන එක සුදුසු නැහැ. මොකද එතකොට ආතතිය වැඩිවෙන්න පුළුවන්. එය අහිතකර ලෙස විභාගයට බලපානවා.”
යනුවෙනුයි ප්‍රකාශ කළේ.











