මැද පෙරදිග යුධ වාතාවරණය හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුම් දාමයන්ට ඇතිවූ අර්බුදකාරී තත්ත්වය මධ්‍යයේ, ශ්‍රී ලංකාවට අඛණ්ඩ හා විශ්වාසදායී බලශක්ති සැපයුමක් තහවුරු කිරීම සඳහා රජය විසින් නව කටයුතු ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව, ලෝකයේ ප්රමුඛ බලශක්ති සැපයුම්කරුවෙකු වන රුසියානු සමූහාණ්ඩුව සමඟ බලශක්ති සහයෝගිතාව ශක්තිමත් කිරීමේ අරමුණින්, රුසියාවේ නියෝජ්‍ය බලශක්ති අමාත්‍ය Roman Marshavin මහතා ප්රමුඛ දූත පිරිසක් අද ශ්‍රී ලංකාවට පැමිණියා.
අද පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේදී, නියෝජ්‍ය මුදල් හා කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ප්රමුඛ ශ්‍රී ලාංකික නියෝජිතයන් හා රුසියානු දූත පිරිස අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.
මෙහිදී කෙටි කාලීන බලශක්ති විසඳුම් මෙන්ම දිගුකාලීන බලශක්ති සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව පුළුල් අවධානයක් යොමු කෙරුණා
සාකච්ඡා අතරතුර, රුසියානු පාර්ශවය විසින් ශ්‍රී ලංකාවට පහත සම්පත් සැපයීමට හැකි බව පෙන්වා දී තිබෙනවා. ඒවා,බොරතෙල් (Crude Oil), පෙට්‍රල් හා ඩීසල්, ගුවන්යානා ඉන්ධන, කෘෂිකර්මාන්තයට අවශ්‍ය පොහොර යි.
මෙය, බලශක්ති හා කෘෂිකර්මාන්ත අංශ දෙකම එකවර ශක්තිමත් කිරීමට වැදගත් අවස්ථාවක් ලෙස සැලකිය හැකියි.
මෙරටට නව තෙල් පිරිපහදු සංකීර්ණයක් ඉදිකිරීමේ හැකියාව පිළිබඳවද රුසියානු නියෝජිතයන් විසින් යෝජනා කර තිබීම ද විශේෂත්වයක්. එය සාර්ථක වුවහොත්, ශ්‍රී ලංකාවේ බලශක්ති ස්වයංපෝෂිතභාවයට විශාල දායකත්වයක් ලබා දිය හැකි වනු නොඅනුමානයි.
මෙම සාකච්ඡාව, ශ්‍රී ලංකාව හා රුසියාව අතර බලශක්ති සහයෝගිතාව දිගුකාලීනව ශක්තිමත් කිරීම සඳහා වැදගත් පියවරක් ලෙස සැලකිය හැකියි. ගෝලීය අර්බුදයන් මධ්‍යයේ දේශීය ආර්ථික ස්ථාවරතාව තහවුරු කිරීම සඳහා මෙවැනි ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් අත්‍යවශ්‍ය වනවා.
බලශක්ති අර්බුදය විසඳා ගැනීම සඳහා රජය ගෙන ඇති මෙම උත්සාහය, ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ ජනජීවිතය ස්ථාවර කිරීමේ වැදගත් පියවරක් වනු නොඅනුමානය.










