රාජ්‍ය මුදල් අවභාවිතකිරීමේ චෝදනාවකට රක්ෂිත බන්ධනාගාර ගත කර, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකර ලබමින් සිටින හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳ නීති කෘත්‍යය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී මීට සුළු වේලාවකට පෙර යළි විභාගයට ගැනුණා.
මේ වනවිට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය අවට පොලිස්, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සහ කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් දැඩි ආරක්ෂාවක් යොදවා ඇති අයුරුයි දක්නට ලැබෙන්නේ.
නිල සංචාරයක යෙදෙන බව පවසමින් පෞද්ගලික සංචාරයක නිරත වීමෙන් රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාව මත අගෝස්තු 22 වැනිදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.
පසුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඔහු අද දිනය දක්වායි රක්ෂිත බන්ධානාගාර ගත කෙරුණේ.
එහිදී ඇති වූ හදිසි රෝගී තත්ත්වය හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
ඒ අනුව අද දිනයේදි යළි රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට අදාළ නීති කෘත්‍ය වෙනුවෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබුණ ද ඔහුගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඔහුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නොහැකි වනු ඇති බවටයි වෛද්‍යවරු පෙන්වා දුන්නේ.
මේ අතර, විපක්ෂයේ පාක්ෂිකයින් මාර්ග බාධක බිඳ දමා අධිකරණ භූමියට ඇතුළු වීමට උත්සාහ දරන අයුරුද දක්නට ලැබෙනවා.











