2022 වසරේ ගාලු මුවදොර ‘ගෝඨා ගෝ ගම’ අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය නියම කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි කොළඹ කොටුව මහෙස්ත්රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය මෙම නියෝගය නිකුත් කළේ.
ඒ අනුව සැකකාර දේශබන්දු තෙන්නකෝන් මහතා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්රාත්වරිය සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියෝග කළා.
එමෙන්ම සැකකරුට තවත් නියෝගයක් නිකුත් කරනු ලැබුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසයි.
එසේම කැඳවීම් සිදුකරනු ලබන අවස්ථාවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙන්ම අධිකරණයට පැමිණ විමර්ශන කටයුතුවලට සහාය විය යුතු බවත්, එසේ කැඳවනු ලබන අවස්ථාවල මගහැරීම් සිදුකරන්නේ නම් ඇප අවලංගු කර සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන බවත් මහෙස්ත්රාත්වරිය නියෝග කර සිටියා.
ඉන් අනතුරුව මෙම පැමිණිල්ල සැප්තැම්බර් මස 03 වන දා කැඳවීමටයි නියම වුණේ.











